පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හි ඉලක්කයක් බව අගමැතිනිය කියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින්, පරිසර හිතකාමී පාසල් පද්ධතියක් සහ පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම රජයේ ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

වත්මන් රජයේ ජාතික දැක්ම වන සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන්නා වූ තිරසර පරිසරයක් ගොඩනැගීම යටතේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ඇය පෙන්වා දී ඇත.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අභිනව මූන් අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙම කෞතුකාගාරය මඟින් සිදුවන ශාක පිළිබඳ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීම සහ එම පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත් කාර්යභාරය මෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තුළ පර්යේෂණ කටයුතු සඳහා ඉන් හිමි වන දායකත්වය ද ඇයගේ පැසසුමට ලක් විය.