ශ්‍රී ලංකාවේ විශාලතම ශිලාලේඛනය පොළොන්නරුවෙන් හමු වෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කඳුවැටියෙන් හමු වී ඇතැයි පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලාලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලාලේඛනය සොයාගනු ලැබ තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වනු ඇති බවයි. දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සේවක කණ්ඩායම දිඹුලාගල කඳුවැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලාලේඛනය පිටපත් කිරීම ආරම්භ කර ඇති බව, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පවසති.,

මෙම සෙල්ලිපිය දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ වන බව ද වාර්තා වේ.