දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මෙරට දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම ඉතා සංවේදී කාරණයක් වන හෙයින් රජය මේ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය පද්ධතියට සෘණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සහ  එහි ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය වඩාත් හොඳ ප්‍රශස්තකරණයක් වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ෂෙහාන් සේමසිංහ පැවසීය.

2024 වර්ෂය වන විට ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවත් විනිවිදභාවය, දූෂණයෙන් සහ වංචාවලින් තොර පරිපාලන සහ මූල්‍ය ව්‍යුහයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටියේය. ඒ අනුව ‘දූෂණ විරෝධී’ පනත් කෙටුම්පත හෙට(21) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.