සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

ලබන 14 වනදා සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් පාර්ලිමේන්තුව හමුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව ලබන සදුදා පස්වරු එකයි තිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියැවීම නොවැම්බර් 15 වනදා ආරම්භ කෙරේ. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වනදා පස්වරු පහට සිදු කිරීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 8 වනදාය.

මෙවර අයවැයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885කි. එය පසුගිය වසර සදහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 6100ට වඩා රුපියල් බිලියන 1785ක වැඩිවීමකි. මෙවර අයවැයේ වැඩිම වැය ශීර්ෂය වෙන් කර ඇත්තේ සමාජ ආරක්ෂණය සදහාය.