මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ සහාය

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව  එකඟතාව පළ කරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මෙම එකඟතාව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව,  යහපත් මූල්‍ය කළමනාකරණය, බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවය ඇතිකිරීම, වියදම් කළමනාකරණය, වංචා දූෂණ පිටුදැකීම සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම යන අංශ ගණනාවක් සඳහා  ඔවුන් තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.

මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමක් අනුව මෙරටට පැමිණි මෙම නිලධාරීන් විසින් සාකච්ඡා වට කිහිපයක් ම ඉකුත් කාලය පුරා පවත්වනු ලැබීය.