74වැනි ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී

74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 04 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව වාරිමාර්ග අමාත්‍ය, ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (31) ප්‍රකාශ කළේය.

‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්’ යන තේමාව යටතේ 74වැනි ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

74 වැනි නිදහස් දින ප්‍රධාන සැමරුම 04 වැනිදා පෙරවරු 08.13 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සමඟ ආරම්භ වන අතර නිදහස ලබාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරමින් කටයුතු කළ වීරෝදාර සියලු පිරිස් අනුස්මරණය සඳහා විනාඩි දෙකක නිහඬතාව පැවැත්වීම සිදු වේ. ඉන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදුකරන අතර ඉන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපතිවරයාට පිරිනමන සම්මාන මුරපෙළපාළිය පැවැත්වීම සිදුවේ. ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය , ජාතික ශිෂ්‍ය භට බළකාය, මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ආචාර පෙළපාලිය හා සන්නද්ධ රථ පෙළපාළිය ද ඉන් පසුව පැවැත්වේ.