ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 65වන සංවත්සරය නිමිත්තෙන් දෙරටේ විදේශ අමාත්‍යවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති

චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 65වන සංවත්සරය නිමිත්තෙන්, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය  මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹා ගෙවී ගිය වසර 65 තුළ දෙරට මනා අවබෝධයකින් මෙන්ම දැඩි මිත්‍රත්වයකින් ක්‍රියා කළ බව වං යී මහතා සිහිපත් කර ඇත. එය විවිධ පරිමාණයේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා මනා ආදර්ශනයක් වූ බව ද ඔහු කියා සිටියි. මෙම සුහද සහයෝගිතා තුළින් දෙරටටම මහඟු ප්‍රතිලාභ අත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී දෙරට පවත්වා ගත් අන්‍යොන්‍ය සම්බන්ධතාව, ද්විපාර්ශ්විකව එතෙක් පැවති සාම්ප්‍රදායික මිත්‍රත්වය වඩා වර්ධනීය අදියරක් කරා රැගෙන ගිය බව වං යී මහතාගේ අදහසයි. එසේම, වර්තමානයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඔස්සේ තිරසර අනාගතයක පැවැත්ම තහවුරු  වන බව අමාත්‍යවරයා කියා සිටී. එසේම, එහිදී පශ්චාත් වසංගත ආර්ථික අභියෝගයන් ද ජයගත හැකි වනු ඇත. මෙම වසර ආරම්භයේ දී ම, ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වෙමින්, එහි නායකයන් සමග සහල් රබර් ගිවිසුමේ 70 වැනි සංවත්සරයත්,   නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 65වන සංවත්සරයත් සැමරිය හැකිවූ බව වං යී මහතා සිහිපත් කරයි.

තවදුරටත් සමීප සහයෝගිතා රැකගනිමින් උපායමාර්ගික සබඳතාවක සාර්ථකත්වය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට තමා අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. දෙරට අතර ළෙන්ගතු සබඳතා අනාගතයේදීත්, ප්‍රශස්ත අයුරින් වර්ධනය වේවා යි, චීන විදේශ අමාත්‍යවරයා ආශිංසනය කර ඇත.

මේ අතර වසර 2022 පෙබරවාරි 7 වැනිදාට යෙදෙන, ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 65වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 65වන සංවත්සරය මෙන්ම රබර් සහල් ගිවිසුම අත්සන් තැබීමේ 70 වැනි සංවත්සරය ද ඉතිහාසයේ සටහන් වනු ඇති බව, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

මෑත වසරවල ශ්‍රී ලංකාව හා චීනය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අවංක සම්බන්ධතාව තවදුරටත් තහවුරු වූ අතර, ඉන් දෙරට අතර  පවත්නා සහයෝගතාවන්ට සුබසෙත එකතු කර ඇතැයි ද ඔහු පැවසීය.

වසංගතය හමුවේ වුවද චීන විදේශ අමාත්‍යවරයා නව වසරේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවට පැමිණීම තුළින්, ද්විපාර්ශ්වීය සම්බන්ධතාව කෙරේ දෙරටම දැක්වූ උපරිම සැලකිල්ල පිළිබිඹු විය. දෙරටේ උසස් පෙළේ අදහස් හුමවාරු එම සංචාරයෙන් බොහෝ දුරට පුළුල් වී තිබේ.

චීනය ක්ෂේත්‍ර රැසකදී ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිර අනුග්‍රහයට ප්‍රණාමය පුද කරන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා  පවසයි.  ආර්ථිකය, දරිද්‍රතාව පිටුදැකීම, ජාත්‍යන්තර හා කලාපීය ගැටළු, මානව හා සංස්කෘතික හුවමාරු, එන්නත් ක්ෂේත්‍රය යනාදිය අතින් දෙරටේ සහයෝගිතා ශක්තිමත් වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා- චීන සාම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රචලිත කරමින් උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ව්‍යාප්ත කිරීමට වං යී මහතා සමග එක්ව කටයුතු කිරීමට තමා කැමති බව ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත