යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  පවතින ගැටුම්කාරී වාතාවරණය මත බොහෝ රටවල් මේ වනවිට යුක්රේනයේ වෙසෙන තම වැසියන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, යුක්රේනයේ මේ වන විට  ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු පමණ සිටින අතර, ඉන් 7 දෙනෙකු ශිෂ්‍යයන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වුවත්, තුර්කියේ අන්කාරා හි පිහිටි තානාපති කාර්යාලය මගින්  අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරේ.

ඒ අනුව, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එම ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කරමින් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටී.