මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළ ඉන්දියාවේ චාරිකාවක නිරතවීමට නියමිතයි. ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවෙයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික ගැටළු විසඳා ගැනීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 240 ක් පිරිනැමීමට ඉන්දියාව එකඟ වී සිටී. ඇමති බැසිල් රාජපක්ෂ මහතා, පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඉන්දිය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය හා විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවී පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට එම මුදල් ලැබී තිබේ. මෙරටට අවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා එම මුදල පිරිනැමේ. මුදල් ඇමතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට බව ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.