චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (09) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා විසින් දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් හෙතෙම ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය චීන විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය.
දෙරට අතර මිතුදම ආවර්ජනය කළ චීන විදේශ ඇමතිවරයා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සැම විටම ලබාදෙන බව පැවසීය.
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.
නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබේ. ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා චීන විදේශ ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.
චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ වන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.
මේ අතර කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ද අද (9) පෙරවරුවේ විවෘත කෙරිණ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙනි.