ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුභපැතුම් පිරිනමයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති ජියි චෙන් හෝං මහතා ඊයේ (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකාවේ නිදහස දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිරිනැමූ සුභපැතුම් පණිවුඩය  භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස්  දිනය ‍නිමිත්තෙන් චීන රජය සහ ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද  ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට අවංක සුබ පැතුම් පිරිනමන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට ද්විපාර්ශ්වික සබඳතා සෑම විටම හිතකර සහ ස්ථාවර ලෙසින් වර්ධනය වී ඇති අතර, එය විශාල හා කුඩා රටවල් අතර මිත්‍රශීලී සහජීවනයේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ ආදර්ශයක් බවට පත්ව ඇත.

නව කොරොනා වසංගත අභියෝගය හමුවේ, චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය ඉදිරියට ගෙනයමින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමක් කර සාම්ප්‍රදායික මිතුදම ගැඹුරු වෙමින් පවතී. එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම නව ප්‍රගතියක් දිනා ගෙන තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් මෙන්ම සහල් රබර් ගිවිසුම අත්සන් කර වසර 70 ක් සපිරෙන මෙම වසරේදී  අවංක අන්‍යෝන්‍ය සහයෝගීතා සහ මිත්‍රත්වය පදනම්ව  චීන ශ්‍රී ලංකා උපායමාර්ගික හවුල්කාරීත්වය නව තලයකට  ගෙන ඒමට ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ එක්ව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන  බව ෂී ජින්පිං මහතා පැවසීය.

ෂී ජින්පිං මහතාගේ සුබපැතුම් පණිවිඩයට  ගෝඨාභය රාජපක්ෂ මහතා  සිය හෘදයාංගම  ස්තුතිය පළ කළේය.

ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන නායකයින්ට සහ ජනතාවට චීන නව වසර සඳහා සුබ පැතුම් පිරිනැමූ රාජපක්ෂ මහතා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන්ම සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කළේය.