මහනුවර වාර්තාකරු තුෂාර සම්පත්
පක්ෂ, ආගම්, ජාති, භේදයකින් තොරව සියලු දෙනා එකතු වී රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩක් ගැනීමට සියලු දෙනා එක්ව නව වසරේ වැඩ කළ යුතුව තිබෙන බව වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් නවවසරට පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටී .
ගෙවී ගිය වසරේ ජනමාධ්‍ය වාර්තා අනුව අප දුටු කරුණුවලට අනුව ඉතාම දුක්ඛදායක වර්ෂයක් බව අපට කියන්න වෙනවා . එම වර්ෂය ජනතාවට දුක්ඛදායක වර්ෂයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ . එය ජනතාව පීඩාවට පත් කළ වර්ෂයක් බව කවුරුත් දන්නා දෙයක් . එසේ හෙයින් ලබන්නා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා .
එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ .
පසුගිය වසර තුළ දී මුළු ලොවටම බලපෑ කොරොනා වසංගතය මර්දනය කිරීම සඳහා විශාල වෙහෙසක් මෙරට රජය සහ වෛද්‍යවරුන් දැරුවා කියන එක අප විශේෂයෙන් මෙනෙහි කළ යුතුයි . පසුගිය වසර ජනතාව දුක් කම්කටොලු රාශියකට මුහුණ දුන් වසරක් වශයෙන් හැඳින්විය හැකියි .
ලබන්නාවූ වසර ඒ සියල්ලෙන් නිදහස් වි සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා . ඒ සඳහා පාලක, පාලිත දෙපාර්ශ්වයේම සහයෝගය එකසේ ලැබී රට මුහුණ පා තිබෙන උපද්‍රවයෙන් රට ගලවා ගැනීමට සියලු දෙනාට ධෛර්ය ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
පක්ෂ ජාති ආගම් භේදයෙන් තොරව දෙදෙනා එකතු වී අපට සිදුව තිබෙන විපතෙන් රට නිදහස් කර ගත යුතුයි කියන අදහසින් හැඟීමකින් යුතුව කටයුතු කරනවා නම් බොහෝ වැදගත් වෙනවා . දෙවියන් බුදුන් වැඩිය රටේ බුද්ධානුභාවයෙන් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලබන්නා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාව කරනවා .