චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක පරිත්‍යා‍ගයක්

සහල්  මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කරයි.

ඒ බව ශ්‍රී ලංකාවේ  චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද මෙම පරිත්‍යාගය පිළිබද තොරතුර  සනාථ කළේය.

එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට මේ වසරට වසර හැත්තෑවක් සම්පූර්ණ  බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක්  නොමිලේ ලබා දෙන ලෙසට වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙසට චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව  ඉදිරිපත් කර තිබිණ.