කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලැබෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව ජනපති කියයි

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29)  පැවති ගුවන් හමුදා අධිකාරියට පත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව හෙතෙම පෙන්වාදෙයි.

වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘ භූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේ දී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී කළ මෙහෙවර ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ. හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතුය. නිලධාරීන්ගේ අවංකභාවය සහ විනය තුළ ඇති වටිනාකම පෙන්වා දුන් ජනාධිපතිවරයා තම නායකත්වය යටතේ සිටින සෙසු නිලයන් කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල මත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම නිලධාරීන් වෙනුවෙන් ඉටුකරන බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.