ඔමික්‍රොන් ව්‍යාප්තියෙන් ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි

ලෝක ආර්ථික වර්ධනය 2022 වසරේ 4.4%කින් වර්ධනය වනු ඇති අතර, එය ඉකුත් ඔක්තෝබර් මාසයේ කෙරුණු පුරෝකථනයන්ට සාපේක්ෂව 0.5%ක පහත වැටීමක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනවාරි  25 දින නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මෙම වර්ධන මන්දගාමීත්වයට බලපානු ඇත්තේ, සැපයුම් දාමයට එල්ල වන බාධා, වාර්තාගත ණය සහ ඉහළ උද්ධමනය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය පවසයි.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා බොහෝ රටවල ක්‍රියාත්මක  සංචරණ සීමා ශ්‍රම හිඟයට දැඩිව බලපාන බව ද වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විශේෂඥවරිය වන ‍ ගෝපිනාත් මහත්මිය පෙන්වාදෙයි.

2022 වසරේ උද්ධමන පුරෝකථනයන්ට අනුව, ඉහළ මට්ටමේ සහ නැගී එන වෙළඳපොළවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත බලපෑ මිල ඉහළ යාමේ පීඩනය තවදුරටත් පවතිනු ඇත. කෙසේවෙතත් 2023 වසර වනවිට උද්ධමනය අඩුවනු ඇතැයි ද උපකල්පනය කර ඇත. මීට අමතරව, ලෝක ආර්ථික වර්ධනය 2023 වසරේ 3.8%කින් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.