එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් 5 නම් කෙරේ

ඇල්බේනියාව ඇතුළු රටවල් පහක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් ලෙස නම් කෙරේ.

ඇල්බේනියාව, බ්‍රසීලය, ගැබොන්, ඝානාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම රටවල් 5යි. අදාළ රටවල ජාතික ධජ තැන්පත් කිරීමේ උත්සවය ඊයේ (04) එක්සත් ජාතීත්ගේ ආරක්ෂක මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්විණ. ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් පිළිබඳ වගකීම නිල වශයෙන් භාර ගැනීම ඉන් සංකේතවත් කෙරේ.

2022 ජනවාරි පළමුවැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නොවන සාමාජික රටවල් ලෙස ක්‍රියාකළේ එස්ටෝනියාව, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනෑඩින්ස්, නයිජර්, ටියුනීසියාව, වියට්නාමය යන රටවල් 5 යි.

සාමාජික රටවල් 15කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ස්ථාවර සාමාජික රටවල් 5ක් ඇතුළත්ය. චීනය , ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව එම ස්ථාවර සාමාජිකත්වය දරයි. සෙසු රටවල් 10ක් ස්ථාවර නොවන සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, ඒවායේ සේවා කාලය වසර 2කි.