ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලට විරාමයක්

ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම ලෙස නිල වශයෙන් හැඳින්වෙන 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡා තාවකාලිකව නවත්වන බව, යුරෝපා සංගමය නිවේදනය කරයි. මේ පිළිබඳව ඊයේ (28) නිකුත් කෙරුණු නිවේදනයේ දැක්වෙන්නේ,  වියානා හි පැවති 8 වන සාකච්ඡා වටය “විරාමයක් ගන්නා” බවයි. සාකච්ඡාවට සහභාගිවන්නන්ට, ඔවුන්ගේ රජයන් වෙතින් අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා තම අගනගර වෙත යාමට මේ කාලය හිමිවන බවත් එහි දැක්වේ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡා ලබන සතියේ යළි ඇරඹෙනු ඇතැයි ද යුරෝපා සංගමය කියාසිටී. යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරී සැලැස්මේ නියෝජ්‍ය මහලේකම් එන්රික් මෝරා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් දැන් දේශපාලන තීරණ අවශ්‍ය වන බවයි.

ට්‍රම්ප් පරිපාලනය  යටතේ, වොෂින්ටනය 2018 වසරේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වූ අතර, චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් වියානාහි පැවති සාකච්ඡා වටයට එක්විය.