හරිත සංකල්පය බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රමුඛ සාධකයයි

හරිත සංකල්පය බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සූදානම් කිරීම හා පැවැත්වීම යන සමස්ත ක්‍රියාවලියේ ප්‍රමුඛතම සාධකය බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චඖ ලිචියැන් මහතා ඊයේ(22) මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට අයිස් හා හිම ක්‍රීඩාවල අසීමිත චමත්කාරය භුක්ති විඳින අතරම සොබාදහමේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට ද හැකි බව සහතික කිරීම සඳහා චීනය ක්‍රීඩා සංවර්ධනය සහ ජෛව ශිෂ්ටාචාර ප්‍රවර්ධනය ඒකාබද්ධ කරන බව චඖ ලිචියැන් මහතා පැවසීය‍.

ඔහු පෙන්වාදෙන පරිදි, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සමස්ත තරඟ පැවැත්වෙන ස්ථාන 12 ම,  ලොව ප්‍රථම වතාවට හරිත හා පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වෙනු ඇත. එළිමහන් හිම සෑදීමේ ක්‍රියාවලියේදී, බහු ජල ගබඩා කිරීම, ජලය ප්‍රතිචක්‍රීකරණය  මෙන්ම විද්‍යාත්මක හා තාක්ෂණික ජල පිරිමැසීමේ ක්‍රමවේද අනුගමනය කෙරේ. එමගින් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හිම නිෂ්පාදනය සඳහා පවතින ජල ඉල්ලුම සපුරාලීම පමණක් නොව, ප්‍රාදේශීය ජල සුරක්ෂිතතාව හා ජෛව පරිසරය කෙරෙහි ද ධනාත්මක බලපෑමක් එල්ලකෙරෙනු ඇත. මීට අමතරව, කසළ බැහැර කිරීමේදී අපද්‍රව්‍ය වර්ගීකරණය සහ සම්පූර්ණ ක්‍රියාවලිය මනා කළමනාකරණයකින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.