ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකියි – නීතිපති

0
207
views

දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර ට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව, නීතිපතිවරයා සිය මතය දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යාංශයට දන්වා තිබෙනවා .

2020 මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට රැගෙන එන්නැයි පසුගියදා කතානායකවරායා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ද දැනුම් ඇති අවස්ථාවක නීතිපතිවරයා විසින් මෙලෙස සිය මතය ප්‍රකාශ කර තිබෙනවා .

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය පසුගිය ජුලි 31වැනිදා මරණ දඬුවම ලබා දුන්නේ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා කිහිපයකට වරදකරුවන් කරමින් .