චීනයේ චෙන්දු නගරයේ ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ශ්‍රී ලංකාවට

කොරෝනා වෛරය පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුවාන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා .

මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා .

වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර ඇති නිසා එම තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන යෙදවීමට කටයුතු කර තිබෙනවා .

සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48ක් තුළ මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා .

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බවද විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා .

නැනින් නගරයේ අධ්‍යාපන ලබන තවත් විශ්ව විද්‍යාල සිසුන් 30 කු පිළිබඳ තොරතුරු චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී ඇති අතර ඔවුන් සහ චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ පවසනවා .
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදන පහසු ව සඳහා We chat මාධ්‍ය ජාලය භාවිතා මං කරන අතර චිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මහඟු සේවයක් සිදුකරන බව ආරංචි මාර්ග පවසනවා .

මේ වන විට ශීතශෘතු නිවාඩුව ආරම්භ වී ඇති බැවින් චෙන්දු නගරයේ වෙසෙන බහුතරයක් විශ්ව විද්‍යාල සිසුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සඳහන් වෙනවා.
චීනය තුළ අධ්‍යාපනය ලබන බහුතරයක් ශ්‍රී ලාංකික සිසුන් අධ්‍යාපනය ලබන්නේ චෙන්දු නගරයේ වීම විශේෂත්වයක් .