මහනුවර ප්‍රදේශයේ සිදු වූ කලබලවලින් දෙදෙනෙක් මරුට 11කට තුවාල – 71ක් සැකපිට අත්අඩංගුවට.

0
841
views

පසුගිය මාර්තු 04 වැනි දා සිට අද (08) උදෑසන දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය ගොස් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධ වාර්තාව පොලිසිය විසින් අද ප්‍රකාශයට පත් කළා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා තිබූ අතර එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, එහිදී දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවා.

පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇති බව ද, ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද එම අවස්ථාවේ එහි සිටි තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබූ බවයි ඔහු පවසා සිටියේ.

පසුගිය මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට අද උදෑසන 6.00 දක්වා කාලයේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, ඒ අතර පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 ක්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් සඳහන් කරනවා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 එක් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද ඔවුන් අතර සිටිනවා.

පහත සඳහන් පොලිස් ස්ථාන මගිනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මහනුවර පොලිසියෙන් 8 දෙනෙක්ද, තෙල්දෙණිය පොලිසියෙන් පුද්ගලයන් 30 ද, මැණික්හින්න පොලිසියෙන් 07 දෙනෙක්ද, කටුගස්තොට පොලිසියෙන් පුද්ගලයන් 06 දෙනෙක්ද, වත්තේගම පොලිසියෙන් 06, තලාතුඔය පොලිසියෙන් 13 ක් සහ පල්ලේකැලේ පොලිසියෙන් 01 වශයෙනුයි.

මේ අතර නිවාස හා වෙළඳසල්වලට හානි කිරීමේ සිද්ධි සංඛ්‍යාව සහ සිදුවූ පොලිස් වසම් පහත දැක්වෙනවා.

රංගලින් 02යි. කඩුගන්නාවෙන් 05යි.
මැණික්හින්නෙන් 01යි.
පල්ලේකැලෙන් 16යි.
තෙල්දෙණියෙන් 18යි.
වත්තේගමින් 02යි.
මහනුවරින් 1යි.

පුජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිදුවීම් 4 ක් වාර්තා වෙනවා ඒවා නම්,

කටුගස්තොටින් 03ක් සහ පුජාපිටියෙන් 01ක් වශයෙනි.
වාහනවලට අලාභ හානි කිරීමේ සිදුවීම් සංඛ්‍යාව.
රංගලින් 03යි
මැණික්හින්නෙන් 01යි
පල්ලේකැළෙන් 05යි
තෙල්දෙණියෙන් 02යි