ශ්‍රී ලංකා ධීවර පනත සංශෝධනය කළාට තමිල්නාඩුවෙන් විරෝධය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව විදේශීය ධීවර යාත‍්‍රා ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ධීවර පනත සංශෝධනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත ප‍්‍රධාන ඇමති ඊ. පලනිස්වාමි විසින් ඉන්දීය අගමැතිවරයා වෙත සිය අප‍්‍රසාදය පළ කර ඇතැයි ඉන්දිය මාධ්‍ය අද (26) වාර්තා කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු ඇති තමිල්නාඩු ප‍්‍රාන්ත ප‍්‍රධාන ඇමති ඉල්ලා ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ විරෝධය පල කරන ලෙසයි.

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිදු කරන නීතිවිරෝධී ධීවර කටයුතු වැලැක්වීමේ අරමුණින් ධීවර පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 24 වැනි දා විෂයභාර ඇමති මහින්ද අමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම කෙටුම්පතට අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන විදේශීය ධීවර යාත‍්‍රා සඳහා පනවනු ලබන දඩ මුදල රුපියල් මිලියන 175ක උපරිමයක් දක්වා ඉහළ යනු ඇත.